මෛත්‍රී භූෂණ සම්මාන උළෙල 2018 හා වාර්ෂික මහා සභා රැස්වීම

මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ පහළොස් වර්ෂ පූර්ණ සැමරුම හා මෛත්‍රී භූෂණ සම්මාන උපහාර උළෙල 2018 ජුනි මස 03 වන ඉරුදින සවස 1.00 සිට 5 දක්වා කොලඹ 05, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පවත්වනු ලැබිණ. මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද, බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාද, පොලිස්පති ගරු පූජිත් ජයසුන්දර මැති තුමාද සහභාගී විය.

මෙත්සවිය මෛත්‍රී සංසදය වැල්ලවත්ත ශ්‍රී විජයාරාමයේ ප්‍රධාන මූලස්ථානය වශයෙන් පවත්වා ගනිමින් පසුගිය පහළොස් වසර පුරා සමථ විපස්සනා භාවනාවන් 6000 පමණ පිරිසකට උගන්වා ඇති, එපමණ සාමජිකත්වයකින් යුත් ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන සංවිධානයකි. බෞද්ධ භාවනාවේ ප්‍රයෝජන පිලිබඳව විද්‍යාත්මක පර්යේෂණ පවත්වමින් දෙස් විදෙස් ජාත්‍යන්තර සම්මන්ත්‍රනවලට එම පර්යේෂණ පති්‍රකා ඉදිරිපත්කරනු ලබන, අප දන්නා පරිදි ලංකාවේ ඇති එකම ආයතනයද මෙත්සවිය වේ. මීට අමතරව යහපත් ජීවිතයකට හරවත් මග පෙන්වීමක් සිය සාමාජිකයින් වෙනුවෙන් සිදු කරමින් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය හා සමාජ සුභසාධනයට අදාල වන සත්කාර සේවා රැසක් ඉටු කරනු ලැබේ. මිරිසවැටිය සළපතල මළුව ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, නාගදීපය සහ කිළිනොච්චියේ ලුම්බිණි විහාරයේ නාගදීප වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා වැසිකිළි පද්ධතීන් සාදා නිම කොට පූජා කිරීම, මහියංගන රාජ මහා විහාරස්ථානයේ ලක‍ෂයකට වැඩි පිරිසකට එකවර ජලය පානය කළ හැකි ජල පිරිපහදුවක් සාදා පූජා කරීම, 2550 බුද්ධ ජයන්තිය සැමරුම වෙනුවෙන් සත්ව හිංසනය පිටු දැකීමේ නීති මාලාවක් සකසන මෙන් අත්සන් ලක‍ෂයකින් යුතු ආයාචනයක් මගින් රජයෙන් ඉල්ලා සිටීම (අද එය ඉටු වී ඇත) හා ඊට අදාල සී. ඩී. තැටි 2550 ක් පන්සල් හා ආගමික සංවිධාන වලට ලබා දීම, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් ස`දහා ශිෂ්‍යත්ව පිරි නැමීම, අප ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වී වසර 2600 ක් ඉක්මවීම සැමරීම සඳහා අසූ හාරදහසක් ධර්මස්කන්ධය සිහිවන අයුරින් ඓතිහාසික මහියංගන රාජ මහා විහාරස්ථාන පූජා භූමියේ අඩි 84 ක් උසැති 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුදු පිළිමය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීම, අසරණයන් වෙත රෝද පුටු පරිත්‍යාග කිරීම, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් ගණනාවකට අවශ්‍ය උපකරණ ලබාදීම වැනි ලොකු කුඩා සද්කාර්යන් රැසක් ඉටු කරනු ලැබ ඇත.