මෙත් සවිය වැඩසටහන් meth_test June 13, 2026

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් පවත්වන ලද වැඩසටහන්

2026 වර්ෂය
ලේ දන්දීමේ මහා පින්කම

2026 සැප්තැම්බර් 13

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ ගරු සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ උදාර සංකල්පයකට අනුව “ලේ දන් දී දාන උපපාරමිතාව වඩවා ගනිමු” යන උදාර සංකල්පය පෙරදැරි කරගනිමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ මහා පින්කම 2026 සැප්තැම්බර් 13 වන ඉරිදා දින බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී අතිසාර්ථකව පවත්වන ලදී. පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වුණු මෙම උතුම් පින්කම සඳහා මෙත් සවිය සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල හිතවතුන් විශාල පිරිසක් ඉතාමත් උනන්දුවෙන් සහභාගි වූහ. තවත් ජීවිත රැසක් බේරාගැනීම වෙනුවෙන් තම රුධිරය දන් දෙමින් දාන උපපාරමිතාව පිරූ සියලුම පින්වත් රුධිර දායකයන්ටත්, වැඩසටහන සාර්ථක කර ගැනීමට නොමඳ සහයෝගයක් දැක්වූ ජාතික රුධිර පාරවිලන සේවයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ මෙත් සවිය සංසදයේ සංවිධායක මණ්ඩලයටත්, හෘදයාංගම ස්තූතිය මෙන්ම පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු! මෙම උදාර පින්කමෙන් රැස්කරගත් සියලු පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට නිදුක් නිරෝගී සුවයම සැලසේවා!

බඩ ඉරිගු දන්සැල

2026 මැයි 30,31 හා ජූනි 01

මෙත් සවිය සංසදයේ නිර්මතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ උදාර සංකල්පයකට අනුව, අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන බඩ ඉරිගු දන්සල තෙවන වරටත් මැයි මස 30, 31 හා ජූනි මස 01 වන තෙදින තුලදී රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වින. බඩ ඉරිගු කරල් 12,000 ක් පමණ මෙම තෙදින තුලදී බැතිමතුන් සදහා බෙදාදෙනු ලැබින.

බැති ගී ගායනය

2026 මැයි 30

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින්, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපයෙහි පැවැත්වූ බොදු බැති ගී ප්‍රසංගයට මෙත් සවිය බැති ගී කණ්ඩායම මගින් භක්ති ගීත ගායනයක් ඉදිරිපත් කරන ලදී.