2600 සම්බුද්ධත්ව ජයන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ meth_test August 13, 2025

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඓතිහාසික මහියංගනය රාජමහා විහාරය

දැක්ම : බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු වූ ඓතිහාසික මහියංගන රාජමහා විහාර භුමියෙහි මුළු උස අඩි 102 ක් පමණ වූ අහසින් වඩින ඉරියව්වෙන් යුත් ලක්දිව උසම පිටු පස ආධාරකයක් නොමැති හිටි පිළිම වහන්සේ වන මෙත්සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම.

අරමුණ : අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නම මසක් ඇවෑමෙන් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකාද්වීපයේ මහියංගනයේ මහවැලි නදිය අසබඩ මහානාගවන නම් වූ උද්‍යානයෙහි පැවැත්වෙන මහා යක්ෂ සංගමය දිවැසින් දැක පළමුවර ශ්‍රී ලංකාවට වැඩම කොටද්‍රි ඉහළ අහසේ පෙනී සිට නොයෙකුත් ප්‍රාතිහාර්ය දක්වා යක් පිරිස් දමනය කරද්‍රි මෙම දිවයින ධර්මයෙහි පැවැත්වීමට සුදුසු ස්ථානයක් බවට පත්කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පවිත්‍ර වන ලද්දා වූ දද්‍රි බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙස වැඩ සිටි කාලයේ දී ම තනන ලද්දා වූ ප්‍රථම චෛත්‍ය රාජයාණන් වහන්සේ ලෙස මහාවංශය ඇතුළු මූලාශ්‍රයන් හි සඳහන් වන ඓතිහාසික මහියංගන රාජ මහා විහාරයට අයත් පුදබිමෙහි මෙතෙක් උස බුදු පිළිමයක් ගොඩනගා නොතිබුන බැවින් එම අඩුව සපුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සමරණු පිණිස ද, ඒ වෙනුවෙන්, බුද්ධ ශාසනය අවසානය වන තෙක් පවතින රට ලෙස සැලකෙන ශ්‍රී ලංකාද්වීපයෙහි චිරාත්කාලයක් පවත්නා පූජා වස්තුවක් ලෙස අහසින් වඩින ආකාරයට පසු පස අධාරකයක් නොමැතිලක් දිව උස ම හිටි පිළිමය වන මෙත්සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනගා බුදුන් වැඩි ස්ථානයෙහි බුද්ධාලම්බන ප්‍රීතිය වැඩිවන අයුරින් බැතිමතුන් හට වන්දනා මාන කර කුසල් රැස්කර ගැනීමට අවස්ථාව සැලසීම සහ බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිස උපයෝගී වීම.

ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමේ අවස්ථා

1. විල්ලුව වැව පිරිසිදු කිරීම

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදි කිරීමේ කටයුතු ආරම්භයට පෙර වල් බිහිව තිබූ මහියංගනය විල්ලුව වැව පිරිසිදු කිරීම.

2. ඉදිකිරීමේ කටයුතු ආරම්භය සඳහා මුල් ගල තැබීම

2012 ජනවාරි 08 දුරුතු පොහොය

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ගෙන දුරුතු පොහොය දින මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදි කිරීමේ කටයුතු ආරම්භය සඳහා මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල් ගල තැබීම.

3. බුදු පිළිම වහන්සේ නෙලීමේ දෙවන අදියර ආරම්භය

2013 ජනවාරි 26

බුදු පිළිම වහන්සේ ඉහලට නැංවීමේ දෙවන අදියර මෙත් සවිය සංසදයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මහත් උත්සවාකාරයෙන් ආරම්භ කිරීම.

4. බුදු පිළිම වහන්සේ ඉහලට නැංවීමේ තෙවන අදියර ආරම්භය

2014 ජූලි 26

බුදු පිළිම වහන්සේ ඉහලට නැංවීමේ තෙවන අදියර ලෙස පද්මයෙන් උඩ කොටස තැනීම සඳහා මහත් උත්සවාකාරයෙන් චාරිත්‍රාණුකූලව මුල් ගල තැබීම.

5. රන් පත්තිරු මත ත්‍රිපිටක අක්ෂර ලිවීමේ පුණ්‍යකර්මය

2018 ඔක්තොම්බර් 28

පිළිම වහන්ගේ නිර්මල වූ හදවත් පෙදෙහි ධාතු ගර්භයෙහි නිදන් කිරීම පිණිස ත්‍රිපිටක සූත්‍ර ලියන ලද රන් පත්තිරු සහිත මංජුසා තැන්පත් කිරීම සදහා රන් පත්තිරු මත ත්‍රිපිටක අක්ෂර ලිවීමේ අවස්ථාව.

6. ගර්භ නිධානෝත්සවය

2020 ජනවාරි 10 දුරුතු පොහෝ දින

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ලය ප්‍රදේශයෙහි කෝටි ගණනක් වටින රන්, මුතු, මැණික් හා ත්‍රිපිටක සූත්‍ර ලියන ලද රන් පත්තිරු තැන්පත් කිරීම.

7. බුදු පිළිම වහන්සේ අවට මළුව සැකසීම

2023 අප්‍රේල් 15,16

මෙත් සවිය සංසදයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පිළිම වහන්සේ අවට මළුව අලංකාර ලෙස සැකසීම හ තණකොළ ඇතිරීම.

8. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම

2023 මැයි 05 වෙසක් පොහෝ දින

ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් විහාරයේ සිට පෙරහැරකින් මෙත් සවිය සාමාජිකයන් විසින් විල්ලුව වැව මධ්‍යයේ පිහිටි බුදු පිළිම වහන්සේ වෙත වැඩමවා, මෙත් සවිය සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමාගේ සුරතින් බුදු පිළිම වහන්සේගේ ශීර්ෂයේ තැන්පත් කිරීම.

9. ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කිරීම

2023 මැයි 18

මෙත් සවිය සංසදයේ සාමාජිකයන් විසින් පූජා කල රන් ආභරණ හා මුදල් මගින් තැනූ රුපියල් ලක්ෂ 100 අධික වටිනාකමක් ඇති ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කිරීම.

10. මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිමකොට විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

2023 මැයි 28

මහා සංඝරත්නයේ වැඩම වීමෙන්, ජනාධිපතිතුමන් ඇතුළු ප්‍රභූන් හා මෙත් සවිය සාමාජිකයන්ගේ සහභාගීවීමෙන්, බුදුන් වහන්සේ අහසින් වඩින ආකාරයට පසුපස ආධාරකයක් නොමැති ලක්දිව උසම හිටි පිළිමය වන මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සදහා විවෘත කිරීම.

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තේමා ගීතය

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

ඌර්ණ රෝම ධාතූන් ධාතුන් වහන්සේ තැන්පත් කිරීම

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ තැනීමේ අරමුදලට දායකත්වය ලබාදුන් පිංවතුන්ගේ නාමලේඛනය

පුන්‍යාණුමෝදනාව

 

රුපියල් මිලියන 240කට අධික මුදලක් වැය කොට නිම වූ මෙම මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ තැනීමට කාලයෙන්, ධනයෙන් හා ශ්‍රමයෙන් බැතිබර දායකත්වය දැක්වූ 8,000 කට අධික මෙත් සවිය සාමාජිකයන්ට සහ සියලු පිංවතුන්ට මෙම අටමහා කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා!